බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඉරමුසු කියන්නේ අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ එන මිල කළ නොහැකි තරමේ වටිනාකමක් ඇති ඖෂධයක්.

නිකමට හිතන්න අද අපි කඩෙන් ගන්න බොහොමයක් මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන වල වගේම ලේ පිරිසිදු කරන ඖෂධ වල ප්‍රධාන සංඝටකයක් විදිහට ඉරමුසු බහුලව යොදාගන්නවා. හැබැයි මේ වටිනා ඔසුව අපේ ගෙවත්තේ නිකම්ම වැවිලා තියෙනවා කියලා ඔබ දන්නවාද.

ඉරමුසු කියන්නේ අර්ධ පඳුරුමය කාෂ්ඨීය වැල් ශාකයක්. පොළවට ගැඹුරට විහිදෙන මෙහි මුල ඉතාම සුගන්ධවත්. මේ ශාකය හඳුනාගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණයක් තමයි පත්‍රයේ මැද නාරටිය දිගේ තියෙන සුදු පැහැති ඉර. දේශීය ශාකයක් වන මෙය වර්තමානයේ Periplocaceae කුලයට අයත් ශාකයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

සෞඛ්‍යමය වාසි

ඉරමුසු වලින් අපගේ ශරීරයට ලැබෙන සෞඛ්‍යමය වාසි ඉතා විශාලයි. ඉන් කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.

  • ශරීරයේ උෂ්ණාධික බව දුරු කිරීමට: ශරීරයේ දැවිල්ලට සහ මුත්‍ර දැවිල්ල නැති කිරීම සඳහා ඉරමුසු මුල් තම්බා බීම හෝ කැඳ සාදා බීම ඉතාම ගුණදායකයි.
  • මුත්‍රා ගල් සහ මුත්‍රා ආසාදන සුවපත් කිරීමට: ඉරමුසු චූර්ණය ජලයට මිශ්‍රකර පානය කිරීම සුදුසුයි.
  • පෙනහළු සහ ස්වසන රෝග සඳහා: පෙනහළු ආශ්‍රිත රෝග සෙම තදවීම සහ ඇදුම වැනි රෝග වලින් පීඩා විඳින අයට ඉරමුසු කොළ කැඳ කදිම ඔසුවක්.
  • මුඛ රෝග නිවාරණයට: විදුරුමස් දියවීම සහ කටේ සෙම්ගෙඩි ඇතිවූ විට ඉරමුසු වැල තැම්බූ වතුරට සීනක්කාරම් ස්වල්පයක් දමා කට සේදීමෙන් ඉක්මන් සහනයක් ලැබේ.
  • උදරාබාධ සහ පණු අමාරුවට: පණු අමාරුව සහ උදරයේ වේදනාවන් සඳහා ඉරමුසු ඇල්වතුරෙන් අඹරා ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ගුළි සාදා මද උණුසුම් ජලයෙන් පානය කිරීමෙන් වේදනාව සමනය වේ.
  • අතීසාරය සහ කෑම අරුචියට: අතීසාරය සහ කෑම අරුචිය දුරු කිරීම සඳහා ඉරමුසු වියළි ඉඟුරු කලාඳුරු අල සහ කෙලිඳ හාල් ග්‍රෑම් 15 බැගින් ගෙන වතුර කෝප්ප 8ක් 1කට සිඳ පෙරා බීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

රූපලාවන්‍ය කටයුතු සඳහා

රෝග නිවාරණයට අමතරව රූපලාවන්‍ය කටයුතු සඳහාද ඉරමුසු සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.

  • අකලට හිසකෙස් වැටීම නතර කර ගැනීමට: ඉරමුසු ශාකය කොටා එහි යුෂෙන් දිනපතා හිස සේදීමෙන් දින කිහිපයකින් හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන්ම නවතී.
  • සමේ පැහැපත් බව වැඩිකර ගැනීමට: මුහුණේ දුර්වර්ණ වීම් මකා ගැනීමට ඉරමුසු කොළ කොටා උදෑසන මුහුණේ ආලේප කර විනාඩි 15කින් පමණ සෝදා හරින්න.

මෙතරම් ගුණ කන්දරාවක් තියෙන ඉරමුසු කියන්නේ නිකම්ම නිකම් වල් පැලෑටියක් නෙවෙයි. මේ වගේ වටිනා දේශීය ඖෂධ ගැන දැනුවත් වීම සහ ඒවා අපේ එදිනෙදා ජීවිතයට එකතු කරගැනීම අපගේ නීරෝගීකමට විශාල ආයෝජනයක් වේවි.

How can we help you?